පාඨලී චම්පිකට අධිකරණයෙන් සහනයක්!

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනමක් තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය විසින් අද තීන්දු කරනු ලැබුවා.

මෙම තහනම පනවා ඇත්තේ රිය අනතුරක් සම්බන්ධ නඩු විභාගයක් හේතුවෙන්.

2016 වසරේ පෙබරවාරි මස 28 වන දින රාජගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම නඩුව විභාග වනවා.

නඩුවේ විත්තිකරුවන් වශයෙන් හිටපු අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ රියදුරා වශයෙන් සිටි දිලුම් තුසිත කුමාර සහ අදාල කාලයේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ සුදත් අස්මඩල යන අයද නම් කොට තිබෙන බව සඳහන්.

මෙම නඩුව පවරා පවත්වාගෙන යාම අභියෝගයට ලක් කරමින් විත්තිකාර හිටපු අමාත්‍යවරයා විසින් අභියාචන පෙත්සමක් ඉදිරිපත් කොට ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය නිෂ්ප්‍රභ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද දැනුම්දීමකට අනුව අදාල නඩුව අද (25) දිනයේ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම පිළිබඳව සාකච්ඡාවට ගැනුණේ මෙම නඩු විභාගයේදීයි.

හිටපු අමාත්‍යවරයාට සම්මන්ත්‍රණයක් සඳහා විදේශගතවීමට අවශ්‍යව තිබෙන අතර, ඕස්ට්‍රේලියාවේ සිටින තම දියණිය දැක බලා ගැනීම සඳහා එරට යාමට අවශ්‍යව තිබෙන බව මෙහිදී විත්තියේ පාර්ශ්වයේ නීතීඥවරයා විසින් අධිකරණයට ප්‍රකාශ කරනු ලැබුවා.

එසේම, විත්තිකාර හිටපු අමාත්‍යවරයා මීට පෙරද අධිකරණයේ අවසරය මත විදේශගත වී, නිසි දිනයට යළි පැමිණ නඩු විභාග සඳහා පෙනී සිට තිබෙන බවට නීතීඥවරයා කරුණු පෙන්වා දුන්නා.

හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරනු ලැබුවේ ඒ අනුවයි.

මෙම නඩුව එළඹෙන නොවැම්බර් මස 18 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙන අතර, හිටපු අමාත්‍යවරයා එදිනට අධිකරණය හමුවේ පෙනීසිටිය යුතුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s