
රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශයේදී පුද්ගලයින් 49 දෙනෙකු රැගත් ගුවන් යානයක් බිහිසුණු අනතුරකට ලක්ව තිබෙනවා.
සයිබීරියාව තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන අංගාරා නම් ගුවන් සමාගමකට අයත් ඇන්ටනොව් වර්ගයේ මෙම ගුවන් යානය චීනයට මායිම්ව පිහිටි අමූර් කලාපයේ නගරයක් වන ටින්ඩා වෙත ළඟා වෙමින් සිටියදීයි මෙසේ අමතුරට ලක්ව ඇත්තේ.
රුසියානු-චීන දේශසීමාවේ පිහිටි බ්ලැගොවෙෂ්චෙන්ස්ක් නගරයේ සිට ටින්ඩා බලා අද උදෑසන පිටත් වූ යානයේ ළමයින් 05 දෙනෙකු ඇතුළුව මගීන් 43 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු සිටි බව සඳහන් වනවා.
මෙසේ පිටත්ව ගිය යානය හදිසියේම පාලක මැදිරියේ රේඩාර් තිර වලින් අතුරුදහන් වී තිබෙනවා.
ඒ එහි ගමනාන්තයට ආසන්න වෙමින් සිටින අවස්ථාවේ බවයි විදෙස් මාධ්ය කියා සිටින්නේ.
අතුරුදන් වූ යානය සොයා විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණු අතර යානයේ දැවෙන බඳ කොටසක් ටින්ඩා සිට කිලෝමීටර් 15 ක් පමණ දුරින් පිහිටි කඳු බෑවුමක ගුවන් සෝදිසි කිරීමකදී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජීවිත හානි පිළිබඳ මෙතෙක් තහවුරු කොට නැතත් දැනට ලැබී ඇති දත්ත අනුව යානයේ ගමන් ගත් සියලු දෙනා මියගොස් ඇති බවට බලධාරීන් සැක පළ කරන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කොට සිටින්නේ.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s