ගම්මන්පිලටත් තරු පෙනෙයි! පරණ නඩුවක් යළි කැඳවීමට නියෝග

රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකොට තිබෙන නඩුවක් යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

මෙම නඩුව පවරා ඇත්තේ, 1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වැනිදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් “ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම” නමින් මිලදී ගෙන තිබූ, පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා නගමින්.

මෙම නඩුව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර ලද නඩුවක් බවයි වාර්තා වන්නේ.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම නඩුව අධිකරණයේ විභාග වූ අතර, ඉකුත් මාර්තු මාසයේදී හිටපු ඇමතිවරයාව මෙම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

එම තීන්දුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ විසින්.

එම අවස්ථාවේ අධිකරණය නිගමනය කළේ, විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවයි.

එහෙත්, මෙම නඩුව යළි කැඳවීමට අධිකරණය විසින් දැන් තීන්දු කොට තිබෙන අතර, එළඹෙන නොවැම්බර් මස 21 වැනිදා මෙම නඩුව විභාගය සඳහා යළි කැඳවීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s