ජාතික කලාභවනෙන් සොරාගත් සිතුවම් යහපාලන ඇමති පවුලක් අතේ!

ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ සුවිශේෂී වටිනාකමකින් යුත් කලා කෘතීන් ලෙස සැලකෙන වටිනා චිත්‍ර 47ක් අබිරහස් ලෙස අතුරුදන්ව ඇති බව පැවසෙනවා.

ඒ. සී. ජී. එස්. අමරසේකර සහ ජේ. ඩී. ඒ. පෙරේරා වැනි මෙරට බිහිවූ විශිෂ්ටතම චිත්‍ර ශිල්පීන්ගේ අගනා නිර්මාණ රැසක්ද මේ අතර වන බවයි සඳහන් වන්නේ.

ජාතික කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබූ කාලයේ මෙම සොරකම සිදුවී ඇති බවත්, ඒ සඳහා එකල සේවයේ නිරතව සිටි මුරකරුවන්ගේ සහාය ලැබී ඇති බවත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කොට සිටිනවා.

එසේම, එම ආරංචි මාර්ග සඳහන් කොට සිටින්නේ මෙම සොරාගන්නා ලද සිතුවම් වලින් සමහරක් යහපාලන රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා සතුව ඇති අතර, තවත් කිහිපයක් කැසිනෝ ශාලා හිමි ප්‍රකට ව්‍යාපාරිකයෙකු සන්තකයේ පවතින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි කියා සිටින්නේ, අදාල සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇති බවයි.

මේ අනුව මෙම ජාතික අපරාධය පිළිබඳ සියළු තතු නුදුරු කාලයේදීම හෙළිදරව් වේද යන කාරණය පිළිබඳ වගකිවයුතු මාධ්‍යයක් ලෙස අපිද නිරතුරුව අවදියෙනුයි සිටින්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s