
නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න දුරකථනය ද විසන්ධි කර සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසම විසින් ඊයේ (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණත් ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මඟහරිමින් සිටින බවත්,ඔහු අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයෙකු මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එහි කිසිදු නීතිමය පිළිගැනීමක් දක්නට නොලැබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් එහිදී සඳහන් කර සිටියා.
රටින් බැහැරව සිටින බවට රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබෙන බවත්, විවිධ අසත්‍ය කරුණු දක්වමින් කොමිසම මඟහරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයන් ඉල්ලා සිටියා.
සැකකරු ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා තිබේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කර ඇති අතර,එම ලේඛන අල්ලස් කොමිසමේ ගොනුවක් තුළ බහා ඇති බව ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් සඳහන් කළා.
සැකකරුට වරෙන්තුවක් නිකුත් කිරීමට නම් ඊට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන් අතර මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේ එම බලතල උපයෝගී කරගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බවයි.