දරුවන් වාහනේ දමා අම්මා සැලුන් ගිහින්! සියල්ල ශෝකාන්තයකින් අවසන් වෙයි

මවක් තම කුඩා දරුවන් දෙදෙනාව මෝටර් රථයක් තුළ දමා යාමෙන් එක් දරුවෙකු මිය ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්.

සිද්ධිය වාර්තා වන අන්දමට මායා හර්නැන්ඩස් නැමැති මේ මව ඉකුත් ජුනි 29 වැනිදා තමන්ගේ අවුරුදු එකක් සහ අවුරුදු දෙකක් වයසැති කුඩා සිඟිත්තන් දෙදෙනා එක්ක මෝටර් රථයෙන් පිටත් වෙන්නේ රූපලාවන්‍යාගාරයට යන්නයි.

තොල් සම්බන්ධ රූපලාවන්‍ය සත්කාරයක් සඳහා යන ඇය රූපලාවන්‍යාගාරයට ඇතුළුවෙන්නේ තමන්ගේ සිඟිති දරුවන් දෙදෙනා මෝටර් රථය තුළ දමා දොරවල් වසා දමලා.

වාර්තා වෙන ආකාරයට නම් ඇය දරුවන්ව ළමා අසුන් දෙකක ඉන්දවලා ආරක්ෂිත පටිත් දාලා තමයි තමන්ගේ වැඩේ කරගන්න යන්නේ.

හැබැයි ආපසු එන ඇය දකින්නේ ඉතාම සංවේදී වගේම බොහොම අනපේක්ෂිත දසුනක්.

ඇය ආපසු එනකොටත් අධික උෂ්ණත්වය නිසා ඇගේ දරුවන් දෙදෙනා ඉන්නේ සිහිසුන් තත්වයේ. ඒ වෙලාවේ ෆැරන්හයිට් අංශක 107ක පමණ උෂ්ණත්වයක් වාහනය තුළ තිබුණා කියලයි පැවසෙන්නේ.

කොහොම වුණත් ඉක්මනින්ම දරුවන් දෙදෙනාව රෝහල් ගත කරන අතර, ඇගේ දෙහැවිරිදි දරුවා දිවි ගලවාගන්නට සමත් වෙනවා. ඒත් අමිලියෝ ගුටරේස් කියන ඇගේ එක් අවුරුදු වයසැති කුඩා සිඟිත්තාගේ ජීවිතය බේරගන්න නම් වෛද්‍යවරුන්ට හැකිවෙන්නේ නෑ.

ඒ අනුව නොසැලකිලිමත් මිනීමැරුමක් සහ ළමා අපයෝජන චෝදනා මත මේ මවට විරුද්ධව නඩු පවරලා තියෙන අතර, ඇයට ඩොලර් මිලියනයකට අධික ඇපයක් නියම වෙලා තියෙන බවත් සඳහන් වෙනවා.

කොහොම වුණත්, ඇය කියන්නේ නම් තමන් මෝටර් රථයේ වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මකව තබා පැමිණි බවයි. හැබැයි, ඒ මෝටර් රථයේ එන්ජිම පැයකට පසු ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීමේ තාක්ෂණික පහසුකමකින් යුක්ත එකක්. ඒ බව ඇයට අමතක වෙලා වගෙයි පේන්නේ.

ඉතින්, මේ දරුවන් අවම වශයෙන් මිනිත්තු 90ක් වැනි කාලයක් පුරා වායුසමීකරණයකින් තොරව අධික උෂ්ණත්වයක් යටතේ මේ මෝටර් රථය ඇතුලේ සිරවෙලා ඉඳලා තියෙනවා කියලා විමර්ශකයින් කියනවා.

එහෙම බැලුවොත්, අනික් දරුවාගේ දිවි බේරුණු එකත් ඇත්තටම හාස්කමක්.

අනික් කාරණය තමයි මේ දරුවන්ගේ පියා සිද්ධිය වෙන අවස්ථාවෙත් ඉඳලා තියෙන්නේ බන්ධනාගාරගතව. ඔහුට බන්ධනාගාරයේ පූජකවරයෙක් හරහා සිද්ධිය ගැන දැනගන්න ලැබිලා තියෙන්නේ ඊට පසුවදා කියලත් වාර්තා වෙනවා.

කොහොම වුණත්, මේ දරුවන්ගේ ආච්චි නම් කියන්නේ මායා හර්නැන්ඩස්, ඒ කියන්නේ දරුවන්ගේ මව තමන්ගේ දරුවන්ට බෙහෙවින්ම ආදරය කළ කාන්තාවක් කියලයි. ඒ වගේම, මේ ඇයගේ සුපුරුදු හැසිරීම නොවන බවටත් දරුවන්ගේ ආච්චි කියනව.

ඒ වුණත් ඉතින්, සුළු අතපසුවීමක්, අමතකවීමක් නිසා ජීවිත කාලයටම පසුතැවෙන්න වෙන වරදක් සිදුවෙන්න පුලුවන්. ඒ නිසා, දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණය අපි අන්තිම වශයෙන් මතක් කරන්න කැමතියි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s