රාජිත අත්අඩංගුවට! අධිකරණ නියෝගය නිකුත් වෙයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නීත්‍යානුකූලව ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත පැවරී තිබූ වැලි කැණීමේ ව්‍යාපෘතියක්, නීති විරෝධී ලෙස විදේශීය සමාගමකට ලබා දෙමින් රජයට රුපියල් ලක්ෂ 263 ඉක්මවූ පාඩුවක් සිදුකිරීමයි මෙම නඩුවට අදාළ චෝදනාව වී ඇත්තේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය වෙත ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර අද දිනයේ නඩු කටයුත්තක් සඳහා පෙනීසිටීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆ්‍රොස්ට් යන අයවලුන් අද අධිකරණය වෙත කැඳවා තිබුණා. එම අවස්ථාවන්ට අදාල වීඩියෝ ඔබට පහතින් නැරඹිය හැකියි.