මෙරට වාහන මිල තවදුරටත් ඉහළට?

රජය විසින් මෙම වසර සඳහා වාහන ආනයනය කිරීමට වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයක ප්‍රතිපාදනයෙන් විශාල කොටසක් මේ වන විටත් අවසන් වී තිබීම හේතුවෙන් මෙරට වාහන මිල ඉදිරියේදී යළි ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවට වාහන ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා කියා සිටින්නේ වසර පුරාවටම වාහන ආනයනය සඳහා වෙන් කළ මුදලින් ඩොලර් මිලියන 800ක් සඳහා මේ වනවිටත් ණයවර ලිපි විවෘත කර ඇති බවත්, ඒ අනුව, වසරේ ඉතිරි කාලසීමාව සඳහා ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 200ක පමණ කුඩා මුදලක් පමණක් බවත්ය.

මහ බැංකු වාර්තා උපුටා දක්වමින් මෙම කරුණ හෙළි කොට සිටින ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රතිපාදනය නිසි පරිදි කළමනාකරණය වූයේ නම් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිව තිබූ බවයි.

මෙරට තුළම නිෂ්පාදනය කළ හැකි ඇතැම් දෑ සඳහා මෙන්ම, දේශීයව එකලස් කරන වාහන සඳහාද විදේශ විනිමය අනවශ්‍ය ලෙස පිටතට ගලා ගොස් ඇති බවත්, රජය බදු සහන ලබා දෙමින් දේශීයව වාහන එකලස් කිරීම දිරිගැන්වූවද, එමගින් එකදු වාහනයක් හෝ අපනයනය කිරීමට මෙතෙක් හැකි වී නොමැති බවත්, ඇතැම් වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව වැනි කරුණු පිළිබඳව ගැටලු පවතින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

වසර පහක පමණ කාලයක් පැවති ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මෙරටට වාහන ගෙන්වීම ආරම්භ වූ අතර, මේ වන විට ආනයනය කර ඇති මුළු වාහන සංඛ්‍යාව නව දහසකට ආසන්න බව සංඛ්‍යාලේඛන වල දැක්වෙයි.

වාහන ආනයනය මේ වන විට රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවටද පත්ව ඇති හෙයින්, වාහන ආනයනය සඳහා ඩොලර් ප්‍රතිපාදන කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට තම සංගමය සූදානම් බවද සභාපතිවරයා සඳහන් කර සිටී.