ජපුර දොස්තර දියණියට නඩු දෙකයි! එකකට යන්තම් ඇප ලැබෙයි

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරයාට සහ විමර්ශන නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටි වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද දහවල් නියෝග කළා.

ඒ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.

කෙසේ වෙතත්, මෙසේ ඇප ලබා දී ඇත්තේ කෙසෙල්වත්ත පොලිසිය විසින් ගොනුකරන ලද නඩුවට අදාලව වන අතර, අල්ලස් කොමිසම විසින්ද සැකකාරියට එරෙහිව වෙනම නඩුවක් ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඇගේ මව වන වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේ, විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින්, සැකකාරියගේ පදිංචිය තහවුරු කරගැනීම සඳහා මැතිවරණ කොමිසමෙන් වාර්තාවක් ලබා ගැනීමට සිදුවූ බව දන්වා සිටියා.

ඒ අනුව ඇය මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරියක බව හෙළිවූ බවත්, ඇය කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ කිසියම් සෞඛ්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වුවත්, සැකකාරිය පදිංචිව සිට ඇත්තේ කොළඹ විජේරාම ලිපිනයක බවත් විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කරනු ලැබුවා.