නිවාඩු පිට ඇවිත් වැව රවුමේ මාල කඩයි – හමුදා සෙබළා මාට්ටු

නුවර වැව රවුමේදී සිදුවූ බව පැවසෙන රන් මාල මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සක්‍රීය රාජකාරියේ යෙදීසිටි යුද හමුදා සෙබළකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

නුවර වැව රවුමේදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් සැකකාර යුද හමුදා සෙබළා විසින් සොරාගෙන යතුරුපැදියකින් පළාගොස් තිබෙනවා.

සොරකම සිදුවූ ස්ථානයේ ස්ථාපිත සීසීටීවී කැමරාවල දර්ශන පරීක්ෂාවෙන් පොලිසිය සැකකරු හඳුනා ගත් බව සඳහන්.

මෙම යුද හමුදා සෙබලා තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වසර 20කට ආසන්න කාලයක් යුද හමුදාවේ සේවය කර, දැනට වැලිඔය යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බව පොලිසිය සිදුකළ රහසිගත පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

තමා නිවාඩු ඉල්ලුම් කර රන්මාල මංකොල්ලකෑමේ නිරත වන බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙන බව පොලිසිය සඳහන් කර සිටිනවා.

සැකකරු විසින් සොරකම් කරන ලද රන් මාලය සහ මීට පෙර සොරකම් කර තිබූ රුපියල් ලක්ෂ 5ක් වටිනා රන් මාලයක් මහනුවර සහ ගලහ ප්‍රදේශවල උකස් මධ්‍යස්ථාන දෙකක තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර එම හමුදා නිලධාරියා සම්බන්ධ බව පැවසෙන තවත් රන් මාල මංකොල්ලයක් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ සැකකාර යුධ හමුදා සෙබළා කලක සිට රන් මාල කොල්ලකෑමේ නිරතව සිට ඇති අතර එම ස්වර්ණාභරණවලින් ලබාගත් මුදල් පිරමීඩ ක්‍රමයකට ආයෝජනය කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.