දොස්තර මහේෂිට ඇප නෑ! තවත් සතියකට රිමාන්ඩ් (VIDEO UPDATED)

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න එළඹෙන ජූලි මස 15 වැනිදා දක්වා, එනම් තවත් සතියක කාලයකට තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළා.

වෛද්‍යවරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය ඇයව තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කළ අතර, නඩුවට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනාට ඇප නියම කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත ඊයේ අත්අඩංගුවට ගන්නා ලද ඇයගේ දියණියද අනිද්දා (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.

රුපියල් 50,000ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ, තමාද සම්බන්ධව සිටින පෞද්ගලික සමාගමක් හරහා රෝගීන්ට රුපියල් 175,000 ක මුදලකට අලෙවි කළ බවට මෙම විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම වංචාවේදී වෛද්‍යවරිය නිල රෝහල් ක්‍රියා පටිපාටි හරහා ශල්‍ය උපකරණ මිලදී නොගැනීමෙන් රාජ්‍ය සේවා ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කර ඇති බවට අල්ලස් කොමිසම පවසනවා.

එසෙම සැකකාර වෛද්‍යව්‍රිය විසින් මොළය මියගිය බවට ප්‍රකාශ වූ රෝගීන්ට පවා සැත්කම් සිදුකර ඇති බවටදද අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි පැවසෙන්නේ.