චන්ද්‍රසේනට කල්දේරම් බත එපා වෙයි! ගෙදරින් කෑම ඉල්ලයි!

දූෂණය නැමති වරද සිදු කළ බවට චෝදනා ලැබ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින හිටපු ඇමති එස්. එම්. චන්ද්‍රසේන බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ප්‍රතික්ෂේප කරමින් පිටතින් කෑම ඉල්ලා සිටින බවට පුවතක් වාර්තා වේ.

ඔහුගේ හිටපු ලේකම්වරයෙකු විසින් මේ පිළිබඳ දැනුම් දෙමින් හිටපු අමාත්‍යවරයාට පිටතින් කෑම ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කොට ඇතත්, එම ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

යම් රැඳවියෙකුට පිටතින් ආහාර ලබා ගැනීමට අවශ්‍ය නම් එම ඉල්ලීම සිදු කළ යුත්තේ එම රැඳවියාගේ පවුලේ සමීපතමයෙකු විසින් බවට පවසමිනුයි බන්ධනාගාරය විසින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත්තේ.

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව යමින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදා හැරීම හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවයි.

මෙම චෝදනාව යටතේ එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින හිටපු අමාත්‍යවරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ M වාට්ටුවේ රඳවා සිටින බවට බන්ධනාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කොට සිටී.