රජයේ රෝහල්වල නවතින රෝගීන්ට මෙන්න පුදුම හිතෙන ආරංචියක්

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විය.

මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගෙන මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ අනූව එම රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළුව පරිපාලනයට සහ මෙම විෂයට අදාළ නිලධාරීන්, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබා දීම සඳහා වැය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම මුදලට සාධාරණයක් ඉටු වන ලෙස ප්‍රනීත, ගුණදායක ආහාරවේලක් ප්‍රියමනාපව රෝගියාට ලබා දීමේ අවශ්‍යතාවය සහිතව මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භකරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පවසා සිටියේය.

තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට‍: බත්, එළවළු, මස් හෝ මාළු යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය බවත්, එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බව ද වෛද්‍යවරුන් මෙහි දී අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

රෝහල්වල ආහාර පාන සැකසීමට අමුද්‍රව්‍ය ලබා දීමේ ලංසුව ලබා දෙනුයේ අවම ලංසුව තබන පුද්ගලයාට බවත්, එම අවම ලංසුව තබන තැනැත්තා රෝහලට ලබා දෙන අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයන් පවතින බවත්, විශේෂයෙන් ම කුළුබඩුවල ගුණාත්මකභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බව නිලධාරීන්, වෛද්‍යවරුන් අමාත්‍යවරයා හමුවේ මෙහි දී පෙන්වා දුන් අතර, රජයේ සියලුම රෝහල්වල මුළුතැන්ගෙවල් නවීකරණයට ලක්කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

මෙහි දී මතු වූ කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමුකළ අමාත්‍යවරයා ඊට කඩිනම් විසඳුම් ලබා දී මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට කටයුතු කරන බව අවධාරණය කළේය.