
ඉදිරි දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක ඇද වැටී සිටින භාතිය හස්තියාගේ තත්ත්වය බරපතල බව මහව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටීම නිසා පරිසර අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ මෙම භාතිය හස්තියාට කඩිනම් ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
ඉදිරි දකුණු පාදයට වෙඩි වැදීම නිසා ඇති වූ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගීව මෙම සත්වයා මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක ඇද වැටී සිටින්නේ දින කිහිපයක සිටයි.
මෙලෙස දැඩි ලෙස රෝගාතුර වීමට ප්‍රථම අවස්ථා කිහිපයකදීම මහව වනජීවි නිලධාරීන් සහ නිකවැරටිය පශුවෛද්‍ය නිලධාරීන් එක්ව භාතිය ඇතා නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදු කළ අතර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමද සිදු කරනු ලැබීය.
එවන් පසුබිමක භාතිය ඇතාට සිය හොඬවැලෙන් ආහාර ලබා ගැනීමේ අපහසුතාවක්ද මතුවූ අතර එම අවස්ථාවේත් වනජීවී නිලධාරීන් මැදිහත්වී ඇතාට ආහාර ලබා දීම සිදුකළ අතර ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින් මේ පිලිබදව සොයා බලා මෙම ඇතාගේ ජීවිත අරක්ෂාව සැලසීම සදහා කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ වෙත උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව දැඩි අව් රශ්මියෙන් පීඩාවිදිමින් සිටි ඇතාගේ සිරුර ජලයෙන් සිසිල් කිරීමටද, අව් ආවරණයක් ඉදිකර ඇතා අව් රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමටද 15 වන කාලතුවක්කු රෙජිමේන්තුව සහ 9 වන ජාතික ආරක්ෂක බලමුළුවට අයත් බටපිරිස් විසින් කටයුතු කරනු ලැබීය.යුද හමුදාව නිවේදනය කළේ එහිදී වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා ඇතාගේ හිස ජලය තුලට වැටීම වලක්වා වනජීවී නිලධාරීන් හා සම්බන්ධවී ඇති යුද හමුදා බටපිරිස්, ඇතා මුදවාගැනීමේ ඉදිරි කටයුතුවල නියලී සිටින බවයි.