සාරංගිකාගේ නඩුව ජූලි 07 කැඳවයි!

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පිළිබඳව මතුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම එළඹෙන ජූලි 07 වැනිදා විභාග කිරීමට දින නියම කර තිබෙනවා.

සභාවේ මංගල සැසිවාරයේදී, සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා විවෘත ඡන්දයක් ඉල්ලා සිටිමින් සභා සාමාජිකයන් 24 දෙනකු ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබියදී, බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දර විසින් එම ඉල්ලීම නොසළකා හරිමින් රහස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු කරනු ලැබුවේ ඉකුත් ජුනි මස 17 වැනිදා.

එම අවස්ථාවේදී, කොමසාරිස්වරියගේ තීරණය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ මහජන විශ්වාසයට හානිකර බව පවසමින් සමගි ජන බලවේගයේ සාමාජිකයින් ඇතුළු විරුද්ධ පක්ෂ නියෝජිතයින් එම තීරණයට විරෝධතා දක්වමින් සභාවෙන් පිටව ගියා.

විපක්ෂය සභා ගැබෙන් පිටව යාමත් සමග ගණපූරණය නොමැති වීමෙන් සැසිවාරය කල්දැමීමට සිදු වූ අතර, සීතාවක ප්‍රාදේශීය සභාවට තවමත් සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරා පත්කරගෙන නැහැ.