
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බැවින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසා සිටී.
ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් පනවා ඇති බැවින් අදාළ මිල ගණන්වලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීම නීතියෙන් තහනම් වන බව එම අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම් දියත් කරන බවත්,වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සම්බන්ධව පාරිභෝගිකයින්ටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසා සිටී.
ඒ අනුව කාර්යාල වේලාවන් තුළදී 1977 අමතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කළ හැකි බවද එම අධිකාරිය පවසයි.
සහල් අලෙවි කිරීමේදි සුදු සහ රතු දේශීය කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 220ක් ලෙසත් සුදු සහ රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230ක් ලෙසත් පාලන මිල පනවා ඇති අතර සුදු සහ රතු සම්බා කැකුළු සහ වාෂ්පයෙන් තැම්බූ, තම්බන ලද දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240ක් ලෙසත් කීරි සම්බා කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 260ක් ලෙසත් පාලන මිල පනවා ඇත.