මගීන්ටත් ආසන පටි අනිවාර්ය කරයි

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ.

අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය.රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත්, ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත්, අද සිට බස් හා ලොරි රථ සඳහා ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවයි.

අද සිට ක්‍රියාත්මකවන පරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැලඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම මීට පෙර දැනුම් දුන්නේය.

එහි සභාපති ඉංජිනේරු පී.ඒ.චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.