අධිබලැති C-4 සමග ලොරියක් හතරැස්කොටුව පොලිසියෙන් අල්ලයි

හබරණ, හතරැස් කොටුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හබරණ පොලිසිය පැවසුවේ සී4 වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 156.07ක් එහි තිබී සොයාගෙන ඇති බවයි.

හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලිස් මුරපොළේ මාර්ග බාධකයේදී සැකසහිත ලොරි රථය නවත්වාගෙන පරීක්ෂා කිරීමේදී රියදුරු අසුන ළඟ තිබෙන ඩෑෂ් බෝඩ් එක යට තිබී නීති විරෝධී ලෙස රැගෙන යමින් තිබූ වෙඩි බෙහෙත් සොයාගත් බව පොලිසිය පවසා සිටී. අදාළ ලොරි රථය ගාල්ල, ලබුදුව ප්‍රදේශයේ සිට කන්තලේ දක්වා ධාවනය කර ඇති අතර එහි රියදුරු 59 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්වේ.

සිය රථයේ මෙම පුපුරණ ද්‍රව්‍ය තිබුණත් ඒ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවති කිසිවෙකු විසින් තමුන්ට හොරෙන් මේවා එහි සඟවන්නට ඇති බවද රියදුරා පොලිසියට පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ලොරි රථය අද (30) බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන හබරණ පොලිසිය විසින් සිදු කෙරේ.