බොලිවුඩ් රූමතියගේ මරණය පිටුපස තරුණ වෙන්න විදපු බෙහෙත්!

ජූනි 27 වන දින හදිසියේ මියගිය බොලිවුඩ් නිළි ෂෙෆාලි ජරිවාලාගේ මරණයට ඇය විසින් ගන්නා ලද වයස්ගත වීම පාලනය කිරීමේ (Anti-Ageing) ඖෂධ හේතු කාරණා වී ඇතැයි වාර්තා පළ වෙමින් පවතී.

“කාන්ටා ලගා” නම් ගීතයෙන් ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ සහ ජනාදරයට පාත්‍ර වූ මෙම නිළිය වයස අවුරුදු 42 දී ජීවිතය හැරගියේ හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙනි.

ඇය වසර 15ක පමණ කාලයක් අපස්මාර රෝගයෙන් පෙළුණු බවත්, සමේ රෝගාබාධ කිහිපයක් සඳහා ද වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවත් අනාවරණය වී තිබෙන අතර, වසර හත අටක කාලයක් තිස්සේ වයස්ගත වීම පාලනය කිරීමේ (Anti-Ageing) ඖෂධ නිතිපතා ලබාගෙන ඇති බවද පැවසේ.

වාර්තා වන අන්දමට, ඇගේ මරණය සිදු වූ දිනයේ ඇය නිරාහාරව සිටියදී එම ඖෂධය එන්නත් කරගෙන ඇති අතර, එය ඇයට මරණය ගෙනා හෘද්‍යාබාධය ඇතිවන්නට හේතු වන්නට ඇතැයි පැවසෙයි.

ඇය රෝගී වූ වහා ඇගේ සැමියා විසින් ඇයව බෙල්වු බහුවිශේෂඥ රෝහල වෙත කඩිනමින් රැගෙන ගොස් ඇති නමුත්, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටියාය.

ඇගේ දේහය පිළිබඳ මරණ පරීක්ශණය කූපර් රෝහලේදී පවත්වන ලද අතර, තවමත් පරීක්ශකයින් නිශ්චිත නිගමනයකට එළඹී නොමැත.

වැඩිදුර අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයන් සඳහා ඇගේ රුධිර සහ පටක සාම්පල රඳවාගෙන ඇති බවත්, පොලිසිය මරණයට හේතු වූ කරුණු පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර මරණයට නිල හේතුවක් මෙතෙක් තහවුරු කර නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.