
පනහේ නෝට්ටුව අපි හැමෝම වගේ දැකලා තිබ්බට ඒකෙ ඉන්න තේජාන්විත නැට්ටුවා ගැන කවුරුවත් ම දන්නේ නැති තරම්. ඒ තමයි මහ යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ. එතුමාව ප්‍රසිද්ධියට පත් වුණේ නිත්තවෙල ගුණයා කියන ආදරණීය නාමයෙන්.
1906දී දුම්බර මිටියාවතේ නිත්තවෙල රජමහා විහාරය පිහිටි පින්බර නිත්තවෙල ග්‍රාමයේ ගුණයා ඉපදෙන්නේ කිරි උක්කුවා කියන පනික්කි ගුරුන්නාන්සේගේ එකම පුතණ්ඩියා විදියට.
කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක පනික්කි ගුරුන්නාන්සේ කෙනෙක්.උඩරට කැරැල්ලෙ දී කැප්පෙටිපොළ නිළමේ එක්ක හිටපු නිත්තවෙල මහා පනික්කියා නිත්තවෙල ගුණයගේ මී මුත්තා.
ගුණයා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර වටපුළුව පාසලෙන්. ඔහු ඉගෙන ගෙන ඇත්තේ 5 වන ප්‍රමාණය තෙක් පමණයි.
ගුණයා අවුරුදු හතරේ ඉඳන් නැටුම් ඉගෙන ගත්තා.
අවුරුදු අටේ ඉඳන් මහනුවර සිරි දළදා පෙරහරේ නැටුවා.
ඉතින් පරම්පරාවේ මගපෙන්වීමයි ගෞරවෙයි මැද අවුරුදු 18ක් පිරුණු තැන ගුණයා වෙස් කිරුළු පළඳිනවා. කුඩා ගුණයාට පරපුරේ නැටුම් කලාව උරුම කරමින් වෙස් බැන්දේ තම පියා නොව ලොකු තාත්තා වූ නිත්තවෙල සුරඹා ගුරුන්නාන්සේ විසින්.ගුණයා අවුරුදු පනස්හතක් නුවර පෙරහැරේ නැටුවා.
සමනල වන්නම, තුරඟා වන්නම, මහබෝ වන්නම, මයුරා වන්නම නිත්තවෙල ගුණයගේ ම නිර්මාණ.චන්ද්‍රරත්න මානවසිංහ ලියපු අමරදේවයන් ගායනා කළ වැලිතල අතරේ ගීතයට වස්තු බීජේ ගුණයා ගුරුන්නාන්සේගේ මහබෝ වන්නම.
මේ විස්මයජනක කුඩා නැට්ටුවාගේ කුසලතාව දැකපු ඒ කාලයේ දෙහිවල සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යතුමා වුණ ජෝන් හෙන්බර්ග් මහත්තයා ගුණයා සහ පිරිවර 1927දී ජර්මනියට එක්කගෙන යනවා.
1957 දී රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කංඩායමේ නායකයා නිත්තවෙල ගුණයා.
යුරෝපා සංචාරයේ දී නිත්තවෙල ගුණයා එංගලන්ත මහා රැජිනගේ ප්‍රශංසාවට පවා ලක් වුණා.
නිත්තවෙල ගුණයා 1958 දී ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ නැටුවා.
ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් නිත්තවෙල ගුණයගේ නැටුම්වලින් පිරුණා.
ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය,චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව වැනි රටවල්වල නිත්තවෙල ගුණයා අතීශය ජනප්‍රිය වුණා.
1950 නිදහස් දින සමරු මුද්දරේ වගේම 2005 ඉඳන් රුපියල් පනහේ නෝට්ටුවෙත් මේ අසමසම කලාකරුවාගේ රුව සඳහන්. අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ අතින් ස්වර්ණ ජයන්ති සම්මානයත් මෙතුමා ලබනවා.
අගමැති බණ්ඩාරනායක මැතිතුමා නිත්තවෙල ගුණයව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුවා.
1975 දී ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් තිත්තවෙල ගුණයව සම්මානයෙන් පුදනු ලබනවා.
1947 එක දවසක් ගුණයාගේ ජීවිතයේ අසතුටුම දවස වෙනවා. ජර්මනියෙන් 1947දී ඔහුව අගයා දෙන රන් සම්මානය කොළඹදී පාදඩයෙක් හොරකම් කරනවා.මල්මාලා රතු පලස් විතරක් නෙවේ ලබපු සම්මානයත් රටේ මිනිස්සුන්ගේ හොඳකමට ඔහුට අහිමි වුණා. ඒක එතුමාගේ ජිවිතයේ වේදනාබර ම දවසක්.
ගුණයා වෘත්තියෙන් ගොවියෙක්. ඔහු සරල බව, නිහතමානිකම, ආචාරශීලි, විනෝදකාමී මේ ඔක්කොටම වඩා රටට ගොඩක් ආදරේ කරපු උතුම් මිනිසෙක්.
අවසාන කාලයේ තිත්ත වෙල ගුණයා ජීවත් වෙන්නේ තනියම. ජීවත් වීමේ මාර්ගයක් විදියට කෝපි කඩන මේ අසහාය කලාකරුවාගේ එක් ඇසකට දිමි ගොට්ටක් වැටීමෙන් ඒ ඇහේ පෙනීම නැති වෙනවා.
ජීවිතයේ අන්තිම කාලය අන්ත අසරණ විදියට ගෙවන්න සිද්ධ වුණ මොහු මරු වැළඳ ගන්නේ හරිම අවාසනාවන්ත විදියට. ඒ රෑ නින්දේදීම කුප්පි ලාම්පුව ඇඟට වැටීමෙන්.
ප්‍රංශයේ සෝබෝර්න් විශ්වවිද්‍යාලයෙන් පවා ලැබුණ ආරාධනා ප්‍රතික්ෂේප කරමින් සිය රට වෙනුවෙන් ම ජීවත් වුණ මෙතුමාගේ ඉරණම ඛේදවාචකයක් විදියට ඉවර වෙනවා.
ජිවිතයේ අවසාන කාලයේ ඔහු රජයෙන් ඉල්ලුවේ එකම දෙයයි. ඒ කලායතනයක් හදන්න බිම් කෑල්ලක්. ඒත් ඇස් දෙක පියාගන්න එතුමාට සිද්ධ වුණේ හීනය හැබෑවක් කර නොගෙන.