
තම බිරිඳ වන වන ශිරන්ති රාජපක්ෂ ඉදිරි දිනෙක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි තොරතුරක් ලැබී ඇති බවද, එවැනි පියවරක් නොගන්නා ලෙසට ජනාධිපතිවරයාට බලපෑම් කරන්නැයිද ඉල්ලමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දා මල්වතු මහනාහිමි හමුවී ඉල්ලීමක් සිදු කොට ඇතැයි වාර්තා වේ.
මෙම පුවත අනාවරණය කරමින්, මේ වන විට විදේශයක ජීවත්වන ප්‍රවීණ මාධ්‍යවේදී සනත් බාලසූරිය මහතා ෆේස්බුක් සටහනක් තබා ඇති අතර ඔහු එමගින් හෙළිදරවු කොට සිටින්නේ මල්වතු මහනායක පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇති බවයි.
දූෂිතයන් අත්අඩංගුවට ගන්නා ලෙසට ලෙසට පසුගිය කාලයේ ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටි තමන් වහන්සේලා ඇතුලු පිරිසට එවැනි ඉල්ලීමක් සිදුකළ නොහැකි බවට උන්වහන්සේ ප්‍රකාශ කොට ඇතැයි අදාල පුවත් ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කරයි.
කුප්‍රකට ‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් දැනට අලුත් වටයකින් සිදුවෙමින් පවතින විමර්ශනවල ප්‍රතිපලයක් ලෙස මෙම අත් අඩංගුවට ගැනීම සිදුවීමට නියමිත බව වාර්තා වේ.
මෙම ප්‍රශ්නගත ගිණුම ගැන මුල්වරට විමර්ශන සිදුකෙරුණේ 2015 වසරේ ‘යහපාලන’ ආණ්ඩුව යටතේ පැවති පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගිනි. එම අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා එවක අගමැති අමතමින්, ශිරන්තිගේ කටඋත්තරය කතානායක නිල නිවසේ දී ලබාගන්නා ලෙසට ඉල්ලීමක් කළ අතර රනිල් වික්‍රමසිංහ විසින් එම ඉල්ලීමට ඉඩ ලබා දී තිබිණි. අවසානයේ එම විමර්ශන වාර්තාව නීතිපති උපදෙස් සඳහා යැවුණු අතර, වාර්තාවට නීතිපති දෙපාර්තමේන්තුවේ දී සිදුවූයේ කුමක්දැයි යන්න පවා මාධ්‍යයට හෙළිවූයේ නැත.
තත්වය මෙසේ තිබියදී, ජනාධිපතිවරයා මල්වතු මහානායක හිමියන්ගේ බසට කිසියම් අවනත බවක් දක්වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් පවතින බැවින් හිටපු ජනාධිපති මහින්ද විසින් මෙම ඉල්ලීම සිදු කොට ඇතැයි අනුමාන කළ හැකි බවට දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කොට සිටී.