
කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබෙන බව වාර්තා වේ.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඒ පිළිබඳව කොළඹ වරාය පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබෙන අතර පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අතුරුදන් වූ සිසුවා සොයා කොළඹ වරාය පොලිසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.