
මේ අහන්නකො මගෙ දෝණි
රෑ වෙලා හොඳටෝ ම
කන්නේ ම නැද්ද බත්……?
??????
කන්න වෙන්නෙ නම් ඊළඟට
දෙක තුනක්
ගුටි මගෙන්
සැලෙන ඉටිපන්දම් එළියෙන්
දිදුළයි
මැණික් කැට දෙකක්
දෙකම්මුල් මත
දෝණිගේ.
පුටුව පිට ගුලි වෙලා
මොකද මේ කරුවලේ…..?
කවමදාවත් නැතුව
ඇයි ද මෙච්චර මුරණ්ඩු….?
මට බඩගිනි නැතුව නෙමෙයි
ඒ වුණාට
කන්නෙ කොහොමද මං
බත්……?
මං නැගිටින්නත් කලියෙන්
පෙට්‍රල් පෝලිමට ගිහින්
අප්පච්චි…..
ගෑස් පෝලිමේ ඉඳලා
කලන්තෙ දාලා වැටිලා
ඉස්පිරිතාලේ
මගෙ සුදු සීයා…
තව ම ගෙදර ආවේ නෑ
සුදු සීයා බලන්න ගිය
අත්තම්මා …..
අප්පච්චි යි, සුදු සීයයි, අත්තම්මයි
ගෙදර ආපු වෙලාවකදි
බත් කන්නම්
බඩ පිරෙන්න
කුසුම් පැලවත්ත
විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිනි