සබරගමුවේ සිසුවා මියගියේ නවක වදයෙන් – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

32

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටී.

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා ලිපියක් ලියා සියදිවි නසාගෙන තිබුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කළ අතර,එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිදුවීම පිළිබඳව සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසකින් ප්‍රකාශද විමර්ශන නිලධාරීන් විසින් සටහන් කරගනු ලැබීමෙන් පසු අදාළ සිසුවා, විශාදය රෝගීන් පෙළී නොමැති බවත් සියදිවිනසා ගැනීමට හේතුව නවක වදය බවත් අනාවරණය වී තිබේ.

එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සිටින ඇතැම් උසස් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ ඇති නවකවධ සිදුවීම් පිටතට අනාවරණය වීම වළක්වාලීමට කටයුතු කරන බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.වසරේ මේ දක්වා කාලය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශයට එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 30කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් සබරගමුවෙන් බවත් එම සංඛ්‍යාව 10කට අධික බවත්,ඒවා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්,අදාළ සිද්ධිවලට චෝදනාලත් සිසුන් වැරදිකරුවන් වුවහොත් වසර 20ක සිරදඬුවමකට ලක්වීමටද සිදුවන බවත් විමර්ශන නිලධාරින් පවසා සිටී.

එමෙන්ම නැගෙනහිර හා ඔලුවිල් විශ්වවිද්‍යාලවලින්ද නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ලැබී ඇත. මේ අතර නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ඇත්නම් 1997 දුරථකන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටී.