ලොවක් ආදරය කළ ඩයනා කුමරිය ගැන ඇසෙන අලුත්ම පුවත

16

ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසින් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබෙන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ප්‍රින්සස් ඩයනාස් ස්ටයිල් ඇන්ඩ් අ රෝයල් කලෙක්ෂන් ලෙස නම් කර ඇති මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මස 26 වැනිදාය. ඒ කැලිෆෝනියාවේ පෙනින්සුලා බෙවර්ලි හිල්ස් නම් තරු පන්තියේ හෝටලයකය.

මෙම වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බ්‍රිතාන්‍යයේ මස්කිවුල ඩිස්ට්‍රොෆී සමාජ අරමුදලට බැර කරන බවයි ජූලියන් වෙන්දේසි සමාගම පවසයි.

ඩයනා කුමරිය විසින් අඳින ලද අලංකාර ගවුම්, ඇය විසින් පලදින ලද තොප්පි හා පාවහන් මෙන්ම ඇය භාවිතා කල මිල අධික අත් බෑගයන් ආදී අයිතම 100ක් සඳහා ලංසු තැබීමට හා ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මෙහිදි අවස්ථාව හිමිවෙයි.

ඩයනා කුමරියට අයත් ව තිබූ භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් එකවර වෙන්දේසි කරන පලමු අවස්ථාව මෙය බව ජූලියන් වෙන්දේසි සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ සම නිර්මාතෘ මාටින් නෝලන් පවසා සිටී.

වෙන්දේසියට තබා ඇති භාණ්ඩ අතර සුවිශේෂි අයිතම කිහිපයක් ද වේ. 1988 වසරේ නිපදවන ලද ‘කෙයාරින් ඩ්‍රෙස්’ නමින් හඳුන්වන නිල් පැහැති සිල්ක් ගවුම ඉන් එකක් වන අතර එය ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ත් – 3ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි වෙන්දේසි සමාගම පවසයි.

1995 වසරේදී එවක ප්‍රංශ ජනපති ආර්යයාවගෙන් තෑගි ලෙස ඩයනා කුමරියට ලැබුණ ඩීඕ අත් බෑගයද, මංගල ඇඳුමින් සැරසී සිටින ඩයනා කුමරියගේ ඡායාරූපයක් මෙන්ම දෙවැනි එළිසබෙත් රැජින ඇතුලු බ්‍රිතාන්‍ය රජ පවුලේ වෙනත් සාමාජිකයන්ට අයත් තවත් අයිතම කිහිපයක්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.

අදාළ භාණ්ඩ ජූනි 17 වැනිදා දක්වා පූර්ව ප්‍රදර්ශනය සඳහා තබා තිබෙන බව විදෙස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.