ලුණු කුණු වෙයි! සමාගමේ සල්ලිත් පිල්ලි ගහලා!

8

ලංකා ලුණු සමාගම මඟින් නිෂ්පාදනය කළ ලුණු මෙට්‍රික් ටොන් 2,500කට ආසන්න සංඛ්‍යාවක් (කි.ග්‍රෑ. 2,474,000ක්) භාවිතයට ගත නොහැකි වීම සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සමාගමේ සිදුව ඇති සියලු අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්ද පරීක්ෂණ සිදු කෙරෙන බවත්,එමෙන්ම හම්බන්තොට අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවත් එහි සභාපති ඩී. නන්දන තිලක මහතා පවසා සිටී.

විනාශ වී ඇති ලුණු කිලෝ 2,474,000 මඟින් ග්‍රෑම් 100 ලුණු කුඩු පැකට් 24,740,000 (විසිහතර කෝටි හැත්තෑහතර ලක්ෂයක්) නිපදවීමට හැකියාව තිබිණි. 2023 වසරේ ලංකා ලුණු සමාගම ලුණු නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය අවශ්‍ය පරිදි හා අවශ්‍ය ප්‍රමාණයන් නිසි කලට ලබා නොදීම නිසා නිපදවන ලද ලුණු මෙ.ටො. 1816.19ක් විනාශයට පත්ව තිබෙන අතර, 2020 වසරේ පලටුපාන ලුණු ලේවායේ ලුණු මෙ.ටො. 16.27ක් වසර 3ක් තිස්සේ ආරක්ෂාවකින් තොරව වේදිකාවල තැන්පත් කර තැබීම හේතුවෙන් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

2022 වසරේ සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු මෙ.ටො. 569.25ක් නිසි පරිදි ආරක්ෂා නොකර පොලිතීන් හා පොල්අතු පමණක් යොදා ආවරණය කර දීර්ඝ කාලයක් තැබීම හේතුවෙන් ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. මේ අතර බුන්දල ලුණු ලේවායේ 2016, 2018, 2019, 2020 හා 2021 වසරවල නිෂ්පාදනය කළ ලුණු මෙ.ටො. 73.98ක් කාලයක් තිස්සේ ගොඩ ගසා අලෙවි නොකර තිබීමෙන් ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවද සඳහන්වේ.

2019 වසරේ ලුණු ප්‍රවාහනයෙන් ලංකා ලුණු සමාගමට හිමි විය යුතු වූ රු. 75,79,030ක මුදල් අස්ථානගත වීම සහ ප්‍රසම්පාදන කමිටු අනුමැතියකින් තොරව ලුණු ඇසුරුම් මිලියන 2.5ක් පෞද්ගලික සමාගමකින් මිල දී ගැනීම ඇතුළු අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.