හිරේ ගිය හිටපු ඇමති ජෝඩුවට වෙච්ච දේ

28

බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ සතොස ආයතනයේ හිටපු සභාපති මෙන්ම හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටු වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

ඊයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් පැනවූ අතර, හිටපු අමාත්‍ය ය මහින්දානන්ද අලුත් ගමගේට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබේ.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මහේන් වීරමන් සඳහන් කළේ, විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවයි.

2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම්බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදු කළේ යැයි මොවුන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබූ අතර, දඬුවම්වලට අමතරව මහින්දානන්ද අලුත්ගමගේට රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ නලින් ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ හතරක දඩයක්ද නියම කර තිබේ.