කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

14

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල මෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

දිවයින පුරා අනෙකුත් ප්‍රදේශවල, පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර තරමක් තද සුළං අපේක්ෂා කළ හැකිය.

මේ අතර, පවතින අයහපත් කාලගුණය හමුවේ රටපුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම් සංඛ්‍යාව අද පස්වරු 4 වන විට 29,451 ක් ලෙස වාර්තා වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කර සිටී.

මෙම බිදවැටීම් යථාවත් කිරීම සදහා යුහුසුලුව කටයුතු කරමින් සිටින බවද එම මණ්ඩලය ප්‍රකාශ කර සිටී.