ප්‍රසන්න, සරණ, මර්වින් – තුන් කට්ටුවටම ඇප නෑ

8

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු රාජ්‍යය ඇමති ප්‍රසන්න රණවීර සහ හිටපු ඇමති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන දෙදෙනාට ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත් දෙක මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එසේම සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමටත් මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

නඩුව ඊයේ (26) පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ දෙවැනි සැකකාර හිටපු ඇමති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් හිටපු අමාත්‍යවරයාට ඇප ලබා ගැනීම සඳහා දෙවැනි වරටත් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත සම්බන්ධ නියෝගයද එදිනට, එනම් ජුනි මස 09 වැනි දිනට ප්‍රකාශ කෙරෙනු ඇති බවද සඳහන් කරන ලදී.

සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා ආයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහ අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

මේ අතර, චීන සමාගමක් මගින් අත්තනගල්ල කරස්නාගොඩ ප්‍රදේශයේ සිදු කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුභසාධන කටයුතු සඳහා එම සමාගමෙන් ලබා දුන් කෝටි 12කට වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවී ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ අද (27) යළි විභාගයට ගැනිණි.

සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 7වැනිදා සිදු කිරීමට දියණිය නියම කළ විනිසුරුවරයා, එදිනට පැමිණිල්ලේ 17 වෙනි 18 වෙනි සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කර තිබේ.