රියදුරාගේ නින්ද ජීවිතයට මරු කැඳවයි – යාපනය මාර්ගයේ බිහිසුණු අනතුරක්

8

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේදී අද (26) අලුයම 04.40ට වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මහනුවර සිට යාපනය දක්වා ගමන් ගත් මෝටර් රථයක් හා යාපනය දෙස සිට වවුනියාව දෙසට ගමන් ගත් ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වී ඇති අතර මෝටර් රථයේ ගමන් ගත් තුවාල ලැබූ තිදෙනා රෝහල් ගත කර ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.

අනතුරට හේතුව මෝටර් රථයේ රියදුරාට නින්ද යාම බව පොලිසිය සැක පළ කර සිටී.

අනතුර සිදු වන අවස්ථාවේ එකම පවුලේ පියා මව හා දරු දෙදෙනෙකු මෝටර් රථයේ ගමන් කොට ඇති අතර අනතුරින් පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණයට පත් වී ඇත්තේ 50 හැවිරිදි නෙල්ලි අඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වන අතර යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඇතුළු දෙදෙනෙකුත් තුවාලකරුවන් අතර සිටින බවද වාර්තා වේ.