
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ, පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතනය සඳහා නියෝජිතයින් පත් කිරීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් බව සඳහන් වේ.
ඒ අනුව හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.
සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කීහිපයකට පෙර සිටම නිර්මාණය විය. එම අර්බුදවල තවත් දිගුවක් ලෙස පළාත් පාලන නියෝජිතයින් පත් කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වය දැකිය හැකි අතර ඒ අනුව මෙම සංවිධායකවරු සිය සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ වන විට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කර ගැනීමේ අර්බුදය ඔඩුදුවමින් පවතී. ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරු රැසක් පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කලකිරීමට පත්ව ඇති අතර, ඒ අනුව ඔවුන් ඉදිරියේදී සිය සංවිධායක ධූර සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයිද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටී.
කෙසේ වෙතත් පක්ෂයේ ඇති නීති රීති අනුව සියලු දෙනා කටයුතු කළ යුතුව ඇති බව පළාත් පාලන ආයතන නියෝජිතයින් පත්කර ගැනීමේදී මතුව ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටී.