සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට අත්හිටවූ සිර දඬුවම්

9

නීති විරෝධී මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් දාසය කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගේ තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනීය යන අයට කොළඹ මහා අධිකරණය අත්හිටුවූ සිරදඬුවම් සහ දඩ නියම කර ඇති බව වාර්තාවේ.

එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවම් නියම කළ මහා අධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10කට අත්හිටුවන බවද නියෝග කළේය. ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම වුණි.

විනිසුරුවරයා නියෝග කළේ දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන්පසුව ඔවුන් මුදාහරණ ලෙසත්ය.

මීට පෙර පැමිණිල්ලේ සහ විත්තියේ මෙන්ම අගතියට පත් පාර්ශවය නීතිඥවරු අතර ඇති වූ එකඟතාව මත මෙම විත්තිකරු විසින් තැන්පත්කරුවන්ගෙන් භාරගත් සමස්ත මුදල්වලින් සියයට 60 ක් වන නවකෝටි අසූපන් ලක්ෂයකට ආසන්න මුදලක් 2023 වසරේ ජූලි මාසයේ සිට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ මාසික වාරිකවලින් විත්තිකරු ගෙවා අවසන් කර තිබෙන බව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුවේ පළමු වන විත්තිකරු වසර නවයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බවත්, දෙවන විත්තිකාරිය වසර දෙකක් පමණ බන්ධනාගාර භාරයේ පසු වූ බවත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ ජයන්ත විරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසුව අමතර උපකාරක පන්ති පවත්වා ලැබුණු මුදල් වලින් මෙම ගෙවීම් සිදුකළ බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ගේ දරුවන් දෙදෙනා ඉදිරියේදී විවාහ වීමට නියමිතව සිටින බැවින් ඔවුන්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහ අධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.