හරක් කටා පන්නන්න උදව් කළ කොස්තාපල්ට ගැලවීමක් නෑ!

9

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාට ඉන් පලා යාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රැඳුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයකු වන රවිදු සන්ධිප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහ අධිකරණය නියම කරන ලදී.

අද (22) මෙම නඩුකරය මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (2) වගන්තිය ප්‍රකාරව මෙම විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධය පළ කර තිබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහා අධිකරණ විනිසුරුවරයා විත්තිකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මෙම නඩුව යළි ලබන විසි අටවැනි දා කැඳවීමට නියමිතය.