කුඩු සළිඳුගෙන් අධිකරණයට පෙත්සමක්

8

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද 21 නියම කළ බව වාර්තා වේ.

අභියාචනාකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියෝජනාධිකරණ විනිසුරුමඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම කැඳවනු ලැබීය.

මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයයේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම්කරු 2013 වසරේ මැඩගස්කරේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත් ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදු කළ බවත් අතිරේක සොලසිටර්ජනරාල්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව සැකකරු මුදා හැරීමෙන් අනතුරුව ඔහු රටින් පළා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර ජනරාල්වරයා රටින් පලා ගොස් සිටින පුද්ගලයකුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක කාලයක් රැඳවුම් භාරයේ තැබූ අතර මාස හතක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඉන් පසුව තම සේවාදායකයාට එහි සෘජු සාක්ෂි නොමැති බවට රජයේ නීතිඥවරයා විසින් දැනුම් දීමෙන් පසුව ඔහු ඇපමත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවත් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඉන් අනතුරුව විවිධ පුද්ගලයින් මුදල් ඉල්ලා තම සේවා දායකයාට බරපතල තර්ජන එල්ල කළ බවත්, සිය ජීවිතය පිළිබඳ ඇති වූ බිය නිසා ඔහු රටින් පලා ගොස් ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කළ කර සිටියේය

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස වනදා කැඳවන ලෙස නියම කළේය.