රජයේ රෝහල්වල යළිත් ඖෂධ හිඟයක් – රෝහල් වර්ජනයකට සැරසේ

7

දිවයින පුරා රෝහල් රැසක මේ වන විට දැඩි ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටී.

ප්‍රතිජීවක සහ වේදනානාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින් වල දැඩි හිඟයක් පවතින බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටී.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (22) දිනයේ දීප්ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලයේ සභාපති රවි කුමදේශ මහතා පවසා සිටී.

ඒ අනුව හෙට උදේ 8 ට වර්ජනය ආරම්භ කිරීමට නියමිත අතර, වර්ජනයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවා කොමිසම සහ රජය භාරගත යුතු බවද රවී කුමදේශ් මහතා වැඩිදුරටත් කියා සිටී.

අදාළ ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ කාලයක සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද සෞඛ්‍ය අමාත්‍යාංශය අවස්ථාවක් ලබා නොදුන් බවත් ඔවුන් මේ සඳහා කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බැවින් මෙලෙස වර්ජනයකට යෑමට සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.