කුෂ් කිලෝ හතක් කටුනායකදී දැලේ

4

රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (19) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙකු වන මොහු මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදීගෙන මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්-179 දරණ ගුවන් යානයෙන් අද දින අලුයම 12.00ට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහාය.

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු තුළ වූ රස කැවිලි අඩංගු පැකට් කිහිපයක් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 910ක ප්‍රමාණයක් සඟවාගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.