
රුපියල් 500ක මුදලක් ගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් වට්ස්ඇප් සමූහයක පළකළ වරදට එම සරසවියේම සිසුවෙකුට රුපියල් 5000ක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය කටයුතු කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාග වී තිබුණි.
එහිදී අදාළ චෝදනාවන්ට වරද පිළිගත් සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කරන ලදී.
එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියටපත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවට රුපියල් පනස්දහසක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළාය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්, විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන තම සේවාදායකයා මුල් අවස්ථාවේදීම වරද පිළිගන්නා බව සඳහන් කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කෙරිණි.
මෙම සැකකාර ශිෂ්‍යයා හෝ පැමිණිලිකාරිය කිසිසේත් හඳුනන පුද්ගලයන් නොවන බව සහ විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පළමු වසරේදීම සිදුකළ මෙම අවාසනාවන්ත ක්‍රියාව සම්බන්ධයෙන් විත්තිකරු වසරක් තිස්සේ පසුතැවෙන බවට නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව විත්තිකරුට සුදුසු අවම දණ්ඩනයක් නියම කරන ලෙසට නීතීඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
අසභ්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනාවන් දෙකක් සම්බන්ධව සැකකරුට නඩු පවරා තිබිණි.
එසේම, මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, පැමිණිලිකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.
මෙහිදී අගතියටපත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පැමිණිලිකාර ශිෂ්‍යාව අදාළ සිදුවීමෙන් පසුව සියදිවි නසාගැනීමට පවා පෙළඹී ඇති බවත්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඇය යථා තත්ත්වයට පැමිණ ඇති බවත් කියාසිටියේය.
එහිදී පැමිණිලිකාර ශිෂ්‍යාව අධිකරණය ඉදිරියට කැඳවූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, පැමිණිලිකාරිය තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් දැයි විමසා ඇත.
ඊට සිය නීතිඥවරයා මාර්ගයෙන් කරුණු දැක්වූ පැමිණිලිකාර ශිෂ්‍යාව, ඇය තවමත් අධ්‍යාපනය ලබන බවත්, වරද පිළිගත් සැකකරුගෙන් රුපියල් පනස්දහසක වන්දියක් බලාපොරොත්තු වන බවත් සඳහන් කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වින්දිත තැනැත්තියට රුපියල් පනස්දහසක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කරමින් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.