නියමුවන් රහිත ගුවන් යානයේ රු. කෝටිය දිය වෙලා

1

පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් කටයුතු සඳහා ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් නවීන තාක්ෂණය පිළිබඳ ආතාර් සී ක්ලාක් ආයතනය විසින් රුපියල් එක්කෝටි පන්ලක්ෂ, හැටහතර දහස්, හයසිය හැත්තෑහතක් (10,564,677) වැය කර මිලදී ගනු ලැබූ නියමුවන් රහිත ගුවන් යානය වසර නමයක කාලයක සිට අදාළ කාර්යය සඳහා යොදවා නොගෙන නිෂ්කාර්යව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

2016 වර්ෂයේ දී මෙකී නියමුවන් රහිත ගුවන් යානය මිලදී ගෙන තිබූ අතර එය ක්‍රියාත්මක කිරීමට රුපියල් එක්ලක්ෂ, දසදහස් තුන්සිය විස්සක මුදලක් (110,320) වැය කර තිබුණි. මේ සඳහා අවශ්‍ය පුහුණුව හා පියාසර කිරීමට අවශ්‍ය අවසරය ද ලබාගෙන තිබුණ ද නියමුවන් රහිත ගුවන් යානය මිල දී ගත් දින සිට අදාළ කාර්යය සඳහා යොදවා නොගෙන නිෂ්කාර්යව පැවතීම මත වැය කරනු ලැබූ මුදල නිෂ්කාර්ය වියදමක් වී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

අවශ්‍යතාවය හා අරමුණු ඉටුකර ගැනීමට ඇති හැකියාව පිළිබඳ මනා අධ්‍යයනයකින් පසුව භාණ්ඩ මිල දී ගතයුතු අතර මෙම ගුවන් යානය භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ නවීන තාක්ෂණය පිළිබඳ ආතාර් සී ක්ලාක් ආයතනයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් දෙන ලද උපරිම පියාසර උස මීටර් 150ක අනුමැතියට යටත්ව මෙකී නියමුවන් රහිත ගුවන් යානය ආනයනය කරනු ලැබූ බවය. පසුව උපරිම පියාසර උස මීටර් 60 දක්වා සීමා කිරීම නිසා එය අපේක්ෂිත අරමුණ සඳහා යොදා ගැනීමට නොහැකි වූ බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2022 වර්ෂයේ දී පියාසර උස අඩි 400 ලෙස නව නීති සම්පාදනය කර තිබුණ ද පියාසර සැලසුම් පද්ධතියට අදාළ මෘදුකාංගයේ දෝෂයක් හඳුනා ගැනීම නිසා එය අපේක්ෂිත ආරමුණු සඳහා භාවිතා කිරීමට නොහැකි වී ඇති බව ද කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර තිබුණි.

නවීන තාක්ෂණය පිළිබඳ ආතාර් සී ක්ලාක් ආයතනය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.